ප්‍රේමය, කරුණාව හා නව ජීවනය රැගෙන ආ කිතු උපත

Dec 25, 2022 | News | 0 comments

“කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ

ජේසූ මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ

උදුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ

දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ”

සිසිර සමය පටන්ගැනීමත් සමඟ පරිසරය ශ්වේත වර්ණ හිම කැටති වලින් හැඩ වැඩ වෙනවා. කඩ සාප්පු, වීදී දීප්තිමත් රතු කොළ පැහැයෙන් වර්ණවත් වෙනවා. කුකීස්, නත්තල් කේක් වැනි රසකැවිලි සුවඳින් නිවෙස් සුවඳවත් වනවා. පොඩිත්තන් ෆයින් හැඩයේ ගස් සරසද්දී, තරුණ තරුණියන් කැරොල් ගී කීමට පුරුදු වනවා.

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සැවොම මේ සැරසෙන්නේ මීට වසර දෙදහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් පුරවරයේ දී “මිනිසුන්ට ප්‍රේමයේ, කරුණාවේ මෙන්ම නව ජීවනයේ බලාපොරොත්තු හා ආශිර්වාදය” රැගෙන උපන් බිළිදෙකුගේ උපත සැමරීමට යි. දේවදූතයන් විසින් එම බිළිදාගේ උපත එඩේරුන්ට සැල කළ බවද, එම අසිරිමත් රාත්‍රියේ යුදෙව්වන් ගේ රජු පහළ වූවා යැයි සලකුණු කළ වල්ගා තරුව ඔස්සේ රජ තුන්කට්ටුව තෑගි පිරි දෑතින් පැමිණි බවත් සඳහන් වේ.

“බෙත්ලෙහෙම් පුරේ

දිළිඳු ගව ලෙනේ

ඔරුව තුළේ සිසිලෙ‍ නිදයි

‍ජේසු බිලින්දා…

‍ලෙළෙන කැන් දිදී අමුතු තරුවකී

අඳුර මැදින් එළිය මවයි ජේසු බිලින්දා

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙන

මග අහගෙන යති දැක්මට ජේසු බිලින්දා

සත වෙත කරුණා පිනි දිය හලනා

මුතු උල්පත පාදා දුනි ජේසු බිලින්ඳා

සාමෙ රජින්දා”

Natal යන පෘතුගීසි වදනින් “නත්තල” යන වචනය ඉපදී තිබේ. ලෝකවාසී කිතුණුවන් ගෙන් බහුතරය දෙසැම්බර් මස 25 දින ජේසු බිලින්ඳාගේ උපත සමරන අතර ඇතැම් නිකායන් විවිධ හේතූන් මත ජනවාරි මස 6, 7, හෝ 19 වැනි දිනයන් වලදී සමරනු ලබයි. විවිධ දින දසුන් වලට අනුව විවිධ දින වලදී නත්තල සැමරුවත්, ප්‍රේමයේ පණිවිඩය සමගින් තෑගි බෝග බෙදා හදා ගැනීමටත්, පවුලේ අය සමඟ එකට කාලය ගත කර සබදතාව අලුත් කරගැනීමටත් නත්තල කදිම දිනයකි.

“පුළුන් වගේ සුදු රැවුළ දිගයි

ලස්සන ඇඳුම හැඩයි කදිමයි

රබන් ගසයි ගෙජ්ජිද සොලවයි

මේ එන්නේ නත්තල් සීයයි…”

නත්තල හා බැඳි සංස්කෘතිකාංග කොතරම් තිබුණද, නත්තල් සීයා තරම් සමීප සංස්කෘතිකාංගයක් නැති තරම් ය. දිළින්දන් කෙරෙහි අනුකම්පාවෙන් ශාන්ත නිකලස් තුමා “අන් අයට කරුණාව දැක්වීමේ හා ප්‍රේම කිරීමේ දේව කැමැත්ත” ඉටු කරණු පිණිස වෙස් වලාගෙන තෑගි බෙදා දී ඇති අතර, වර්ථමාන වන විට නත්තල් සීයාගෙන් තොර නත්තලක් ගැන සිතාගැනීමටත් නොහැකි තරම් ය. සියල්ල වාණීජ්‍යකරණය වූ ලොවක නත්තල ද වාණීජ්‍යකරණය වීම නොවැලැක්විය හැකි දෙයකි. පෙරදී සරල දේව මෙහෙයකින් සැමරූ නත්තල මේ වන විට නත්තල් සාද, සැරසිලි විකිණීම, නත්තල් චිත්‍රපට, විලාසිතා වැනි නොයෙකුත් දෑ මැද වාණීජ්‍යකරණයව ඇත.

සීතල රාත්‍රියක, සේද සළු සුව පහසු ඇදන් නොමැතිව, දුගියන්ගේ ගව මඬුවක උපත ලත් මේ බිලිඳා පසු කලක දුගියන් වෙනුවෙන් හඬ නගන සොදුරු පුද්ගලයෙකු විය. වඩුවෙකුගේ පුත්‍රයෙක් වශයෙන් දුගී මිතුරන් රැසක් ද පිරිවරාගෙන නසරතයේ වීදි පුරා සැරි සරමින් තම නිදහස් අදහස් ප්‍රකාශ කළ වරදට කුරුසිපත් වීමටද එතුමාට සිදු විය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය සැබවින්ම පීඩාකාරී ය. අප “අපේ අසල්වැසියන් ට ප්‍රේම කිරීම”, සොයා බලා උදව් කිරීම වැනි සුළු උපකාර තුළින් එම පීඩාකාරී බවෙන් මොහොතකට හෝ මිදිය හැක. ගරු මර්සිලින් ජයකොඩි පියතුමා විසින් රචිත මෙම නත්තල් ගීතය අන් කවරදාටත් වඩා මේ නත්තලේ දී හදවතේ ගැඹුරුම ස්ථානය ස්පර්ශ කරන්නේ එබැවිනි.

“මගේ නත්තල දුගියා බත් කන දාය

මගෙ නත්තල වැරහැලි නැති වන දාය

මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය

මගේ නත්තල පව පල්ලිය යන දාය

කොටි ගවයන් හා එක් තැන් වන දාය

නයි ගුල ළඟ දරුවා සැතපෙන දා ය

ඔබ හා මා අත්වැල් බැඳ යන දාය

මගේ කුසගිනි බත් කට ඔබ කන දාය”

එබැවින් රොටරැක්ට් අප, නත්තල “A Memorable December 3.0” සැමරුමට පමණක් ලඝු කරන්නේ නැත. ප්‍රේමයේ සැබෑ අරුත පතුරවමින් සමාජීය, පාරිසරික සහ රොටරැක්ට් සාමාජිකයන් ගේ සුබ සිද්ධිය උදෙසා විවිධ ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ද කිරීමට නියමිතය.

ලෝකවාසී සැමට සාමය, සතුට, සපිරි අරුත්බර නත්තලක් වේවා!

Written by: Rtr. Sewmini Bandaranayaka

Graphic design by: Rtr. Nilakshi De Silva

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Visit Our Socials:

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 881 7274

FOLLOW US
© 2025. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura