ලෝක අලි ඇතුන්ගේ දිනය 2021

Aug 11, 2021 | Environmental Service | 0 comments

ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකාව ඇතුළු ලොව බොහෝ රට වල අලි ඇතුන්ට සංස්කෘතිමය වශයෙන් හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. සුවිසල් දේහය , දිගු හොඬවැල , ප්‍රමාණයෙන් විශාල ලෙලදෙන කන් යුගලය වැනි ගොඩබිම අන් සතුන්ගෙන් වෙනස් වන ලක්ෂණ ගණනාවකින් හෙබි මෙම සත්ත්වයින් ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. නමුත් අද වන විට ලෝකයේ දැක ගත හැකි වන්නේ ආසියානු හා අප්‍රිකානු කාණ්ඩ දෙකට අයත් අලින් පමණි.

Elephas maximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන , ඉන්දියාවේ සහ ගිණිකොණදිග ආසියාවේ සුලබව හමුවන ආසියානු අලියා අතීතයේ සිටම මිනිසා තම කටයුතු පහසු කර ගැනීම උදෙසා හීලෑ කරගන්නා ලද කාණ්ඩයකි.

අළු දුඹුරු පැහැති දේහයකින් හෙබි මෙම කාණ්ඩයේ අලින්ගේ ආයු කාලය ආසන්න වශයෙන් අවුරුදු 48 කට පමණ සීමා වේ. IUCN රතු දත්ත වාර්තා වලට අනුව , 1986 සිටම ආසියානු අලියා ‘වඳවී යාමේ ඉහළ තර්ජනයක් ඇති‘ (Endangered) කොට්ඨාසයක් ලෙස නම් කර ඇත.

Loxodonta africana යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අප්‍රිකානු අලියා ගොඩබිම වෙසෙන විශාලම සත්ත්වයායි.අප්‍රිකානු අලියා ආසියානු අලියාට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර එම කාණඩ දෙක වෙන්කර ගත හැකි ප්‍රධානම ලක්ෂණයනම් කන් යුගලයේ ස්වභාවයයි.

තද අළුවන් දුඹුරු පැහැයෙන් යුතු මෙම අප්‍රිකානු අලියෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 60- 70 අතර වේ. IUCN රතු දත්ත වාර්තාවන්හි අප්‍රිකානු අලින් ‘අනතුරට ලක් විය හැකි‘ (Vulnerable) ලෙස වර්ගීකරණය  කර ඇත.

මොවුන් ගොඩබිම වෙසෙන විශාලම සත්ත්ව කොට්ඨාසය වුවද , අද වන විට ඔවුන්ගේ පැවැත්මට දැඩි ලෙස තර්ජන එල්ල වී හමාරය. ඇත් දළ ලබා ගැනීමේ අරමුණින් මෙන්න මස් ලබා ගැනීමේ අරමුණින්ද අලි ඇතුන් ඝාතනය කිරීම අද වන විට ඉතාමත් සුලබව අසන්නට ලැබෙන ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.

වන විනාශයද අලි ගහණය අඩු වීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන තවත් එක් සාධකයකි. වන විනාශය හේතුවෙන් අලි ඇතුන්ට සිය වාසස්ථාන අහිමි වන අතරම මෙය උපත් සංබ්‍යාව අඩු වීම කෙරෙහිද බලපායි.

එමෙන්ම වර්තමානයේ ඉතාමත් සුලබ ලෙස කතාබහට ලක්වන තවත් එක් මාතෘකාවක් නම් අලි මිනිස් ගැටුමයි.

ජනගහනයේ ශීඝ්‍ර වැඩි වීමත් සමඟම වනාන්තර එලිපෙහෙලි කර නව ජනාවාස පිහිටා ගැනීම හේතුවෙන් අලින්ට සිය වාසස්ථාන අහිමි වී ඔවුන් මිනිසුන් වාසය කරන ප්‍රදේශ තුලට ඇතුළු වීම මෙම අලි මිනිස් ගැටුමට පාදක වී ඇත. මේ හේතුවෙන්ද විශාල වශයෙන් අලින්ගේ ජීවිත අවධානමකට ලක්ව ඇත.

මේ ආකාරයේ විවිධ හේතූන් නිසා තර්ජනයට ලක් වූ අලින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ ඒ පිලිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කොට ගනිමින් අලි ඇතුන් වෙනුවෙන් අන්තර්ජාතික දිනයක් නම් කිරීම 2011 වර්ෂයේදි සිදු විය. ප්‍රථමයෙන්ම එම දිනය සමරනු ලැබුවේ 2012 අගෝස්තු 12 වනදාය.

එම වර්ෂයේ පටන් අද දක්වාම අඛණ්ඩව අගෝස්තු මස 12 වන දිනය ජාත්‍යන්තර අලි ඇතුන් සැමරීමේ දිනය ලෙස වාර්ෂිකව සමරනු ලබයි.

එහි ගෞරවය හිමි වන්නේ කැනේඩියානු චිත්‍රපට නිශ්පාදකවරයෙකු වන Patricia Sims සහ Thailand’s Elephants Reintroduction Foundation යන ආයතනටයි.

ලෝක අලි ඇතුන්ගේ දිනය යනු අපට අලි මිනිස් ගැටුම , අලින් මුහුණ පා ඇති වෙනත් තර්ජන කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමට සිහි කැඳවන ඉතාමත් වැදගත් දිනයකි.

මෙවරත් අගෝස්තු 12 වනදාට යෙදී ඇති ලෝක අලි ඇතුන්ගේ දිනයේදී අපත් , ගොඩබිම වෙසෙන මෙම විශාල සත්ත්ව කාණඩයේ පැවැත්ම ආරක්ෂා කිරීමට අපට හැකි අයුරින් දායක වෙමු.

Written by Rtr. Thinuri Mithara

Photo Credits- Chathura Jayasanka

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Visit Our Socials:

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 881 7274

FOLLOW US
© 2025. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura