“සැමට මානසික සෞඛ්‍ය” තේමාව යටතේ 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරන ලදී.

Oct 18, 2020 | News | 1 comment

උන්මන්තකාගාරයක නොහිටියද ඔබ මට සැමට අඩු වැඩි වශයෙන් යම් උමතුවක් ඇත. බොහෝ දෙනා ප්‍රසිද්ධ වන්නේ තමන්ටම අනන්‍ය වූ පිස්සුවක් නිසාවෙනි. ඔබ කවුරුන් ගැන හෝ විමසූ විට…

එයාද, එයා නම්… ‘පික්චර් පිස්සෙක්’, ‘බස් පිස්සෙක්’, චිත්‍ර කතා (කොමික්) පිස්සෙක්, ‘පොත් ගුල්ලෙක්’, ‘මියුසික් පිස්සෙක්’, ‘වාහන පිස්සෙක්’, ‘හැරී පෝටර් පිස්සෙක් (potterhead)’’වැනි මෙකී නොකී පිළිතුරු ලැබෙනු ඇත

ඒවායේ ගැබ්වී ඇත්තේ ආදරණීය බවකි. ඕනෑම දෙයක් ඕනාවට වඩා හොද නැත. එහෙත් ඔබ ගැන විමසූ විට ලැබෙන පිළිතුර

“අපොයි එයාද… ‘ට්‍රැක් අවුට්’, ‘පීළි පැනලා’, ‘මොන්ගල්’…” වැනි දෙයක් නම්…ඒ ආමන්ත්‍රණය ආදරණීය බවෙන් බොහොම ඈතය. පාරිසරික, සමාජීය, ආර්ථිකමය, රැකියා ස්ථානයේ පීඩනය වැනි නොයෙක් කරුණු නිසා ඕනෑම කෙනෙකුගේ  මානසික සෞඛ්‍ය පිරිහීමට හැක. කිසිදු ජාති, ආගම්, කුළ, මළ, ස්ත්‍රී, පුරුෂ, ළමා, තරුණ, මහළු භේදයකින් තොරව නීරෝගී අයෙකුගේ වුවද මානසික සෞඛ්‍ය පිරිහිය හැකිය.  මෙම මස ඉකුත් දස වැනි දින,

“සැමට මානසික සෞඛ්‍ය” තේමාව යටතේ ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරන ලදී.

නිරෝගිකම තරම් සැපතක් තවත් නැති වුවද ඔබ කායික සෞඛ්‍ය පිළිබඳව උනන්දු වන තරමටම මානසික සෞඛ්‍ය පිළිබඳව උනන්දු වනවාද? උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදුණු විගස පවුලේ වෛද්‍යවරයා හමුව බෙහෙත් ගන්නා ඔබ,

ඔබට කාන්සියක් දැනුනොත්, කියාගන්නට නොතේරෙන මානසික පීඩනයක්, වචනයෙන් කියා නිමකළ නොහැකි හිස් කමක් දැනුන විට, අනවශ්‍ය ලෙස කුපිත වීම වැනි හැගීමක් දැනුණු කළ මනෝ වෛද්‍යවරයකුව හමුවනවාද?

බොහෝ දුරට වන්නෙ තමා “පිස්සෙකුයැයි” හංවඩු ගසයි යැයි බියෙන් තමන්ගේ අමිහිරි මතක සිතුවිලි අඩුම තරමින් තමන්ගේ දෙමව්පියන්, හොදම මිතුරන් හෝ ඔබට සමීප අය සමඟවත් හුවමාරු කර තමන්ගේ සිත නිදහස් නොකර ඒවා යලි යලිත් මෙනෙහි කරමින් ඒවා සමග ජීවත් වීමයි.

ඕනෑම වස්තුවකට, ඕනෑම පුද්ගලයකුට යම් පීඩනයක් දැරිය හැකි සීමාවක් ඇත. ඒත්, මතක තියාගන්න, බැලුන් බෝලයකට නොනවත්වා හුලං පිරවුවොතින් වන්නේ එය කොයි මොහොතේ හෝ පිපිරී යාමය. ඉතිං මොහොතක් සිතන්න, කියාගන්නට කාත් කවුරුවත් නැතුව ලතවී එවැනි ගැටලුවක් සිත තුල හිරකරගත් විට දැනෙන පීඩනය කෙතරම්ද! ඔබ කවදා හෝ ඔබේ ගැටළු බෙදා හදා ගැනීමට විශ්වාසවන්තයකු නොමැතිව අසරණවී තියේද?

මේ ගෙවෙන කොරෝනා සමය ජීවත් වීමට පහසු නැත. වෙනදාටත් වඩා ඔබේ සහානුකම්පනය අවැසි කාලය මෙයයි.  ඇදිරි නීතිය සමග ආයතන වල දෛනික කටයුතු අඩපණව වියදම් කපා හැරීමට සේවකයන් අස් කරයි, කුලියක් මලියක් කර තමන්ගේ බඩ වියත රැකගැනීමට  හුරුව සිටි අයට කුලී වැඩක්වත් සොයා ගැනීමට අපහසුව ඇත, එදා වේල සපයාගැනීමේ සිට වාහන ලීසිං කාර්තුව ගෙවීම දක්වා ප්‍රශ්න රැසකි.

ළමුන්ට, විද්‍යාර්ථයන්ට මිතුරු ඇසුරකින් තොරව මාර්ගතව (online) ඉගෙනගැනීමට වී ඇත. තමන්ට ඉගෙනීමදී පැන නගින ගැටලුවක් විසදාගැනීමට නොහැකිව, මාර්ගගතව ඉගනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම්, අන්තර්ජාල පහසුකම් රහිත සිසුන් අන්ත අසරණ වේ. තවත් සමහරුන් තමන්ගේ සමීපතමයන් හමුවීමට නොහැකිව හුදකලා වේ. සෑම දෙනාම මෙබදු නව ගැටළු රැසකින් ආතතියට පත්ව ඇත.

මේ ගැටලු නිසාවෙන් විශාදය වැනි රෝගී තත්ව ඇතිවීම සුලබ දෙයකි. ඇදිරි නීති සමයේ ඇතිවිය හැකි එබදු මානසික ප්‍රශ්න නිරාකරනය කිරීමට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් 1926 දුරකතන අංකය හදුන්වා දී ඇත. කොරෝනා ඇදිරි නීති වකවානුවේ පමණක් එම ආයතනය 1500කට වැඩි පිරිසකට සේවාව සපයා ඇති අතර සියදිවි නසාගැනීමට සිටි 220 දෙනෙක් ඉන් මුදවාගැනීමට සමත්වී ඇත.

මානසික රෝග වලට බෙහෙත් නැතැයි කීවේ කෝපි කාලයේය. මුල් අවධියේදීම නිශ්චිත ප්‍රතිකාර කළහොත් බොහෝ මානසික රෝග නිට්ටාවටම සුව කළ හැකිය. නවතම සමීක්ෂණ වාර්ථා වලට අනුව ලංකාවේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයකු මානසික රෝග වලින් පෙලෙයි.  මානසික රෝග වල උච්චතම අවස්ථාව වනුයේ සියදිවි නසාගැනීමයි. අනූව දශකයේදී වැඩියෙන්ම පුද්ගලයන් සියදිවි නසාගත් රටවලින් එකක් බවට ලංකාව පත්වී තිබුණි. වර්ථමානය වන විට එම තත්වයේ අඩුවීමක් දක්නට ලැබේ.

හැරී පෝටර් කතාවේ එන ආත්මයේ සියලුම සතුට උරාගන්නා භූතාරක්ශකයන්ගෙන් සංකේතවත් කරනුයේ විශාදය නම් මානසික රෝගී තත්වය බව එහි කතුවරිය ජේ. කේ. රෝලින් මැතිණිය පවසා තිබේ. ඇයද එම කෘතිය රචනා කළ යුගයේ විශාදයෙන් පෙළුණු බවද එම කතාවේ සදහන් පරිදි භූතාරක්ශක පහරදීමකදී ප්‍රථමාධාර වශයෙන් චොක්ලට් දෙනු ලබන්නේ චොක්ලට් වලින් සතුට ලැබෙන නිසා බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මානසික සෞඛ්‍ය දුර්වලව පුද්ගලයන්ට උසුළු විසුළු කරනු වෙනුවට ඔවුනට සෙනෙහස දැක්විය යුතුය. මානසික වශයෙන් දුර්වල වුවද ඔවුන් ප්‍රතිභාපූර්ණ පුද්ගලයන්‍ ය.

ඒබ්‍රහම් ලින්කන්, එමිනෙමි, ජොනී ඩෙප්, ඇන්ජලීනා ජොලී, මයිකල් ආන්ජිලෝ, ලේඩිගගා ආදී පුද්ගලයන්ද තම මානසික සංකූලතාවයන්ට ධෛර්යයෙන් යුතුව මුහුණ දුන් තැනැත්තන් ය. මානසික සංකූලතා ඇතයි ඔබ ඇහුම්කන් නොදීමෙන්, සහානුකම්පිත නොවීමෙන්, විහිලු තහළු කිරීමෙන්, මගහරිමීන් පීඩාවට පත් කරන්නේ අනාගත ඒබ්‍රහම් ලින්කන් කෙනෙකු, ජේ. කේ රෝලිං කෙනෙකු විය හැකියි.

මොහොතක් සිතා බලන්න. අපගේ රැකවරණය නොමැති වීම නිසා එවැනි අයෙක් සියදිවි හානිකරගතහොත් සිදුවන්නේ කෙතරම් විශාල පාඩුවක්ද! අනෙක් අතට තරාතිරම් නොතකන මෙම මානසික සංකූලතා ඔබටත් මටත් කිසිදු වෙනසක් නොකර වැලදිය හැකිය.

මානසික සංකූලතා වලින් පෙලෙන ඔබේත් මගේත් ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනට අත්වැලක් වීමට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සංවිධානය විසින් අදියර තුනක් යටතේ BUTTERFLY EFECT 3.0 ක්‍රියාන්විතය ක්‍රියාත්මක කරන ලදී. ඉන් පළමු අදියරය යටතේ රොටරැක්ට් අපි, සුමිත්‍රයෝ සංවිධානය හා එක්ව සැප්තැම්බර් මස තිස්වන දින “පශ්චාත් කොරෝනා අභියෝගතා” මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළෙමු.

එයින් නොනැවතුනු අප, දෙවන අදියරය යටතේ විශාදයෙන් පීඩා විදින, සිය දිවි නසාගැනීමට පවා තැත් කළ සොයුරු සොයුරියන්ගේ ජීවිතයට අපට හැකි පමණින් ආලෝකයක් ලබා දෙන්නට සුමිත්‍රයෝ ආයතනයදී වැඩමුළුවක් සංවිධානය කළ අතර, එය අපට මෙන්ම ඔවුනටද සුවිශේෂී අවස්ථාවක් වූවා නොඅනුමානය.

තෙවන අදියර වශයෙන් අප මානසික රෝහලේ සංගීත ඉසව්වක්ද, චිත්‍ර ඇදීමේ සැසියක්ද පවත්වා, පුංචි තිළින රැසක් දී ඔවුන්ගේ විඩාපත්වූ මනසට අපට හැකි පමණින් සහනයක් ගෙන දීමට කටයුතු කෙරුවෙමු. මට වරයක් ලැබුනොත් මා පතන්නේ, මානසික සංකූලතාවලින් යුත් අයටත් වෙනස්කම් නොකරන සමාජයක් ය. මානසිකව විඩාවට පත් ඒ සොයුරු සොයුරියන් ව තවත් වෙහෙසට පත් නොකර, කොන් නොකර මානුෂිකව සැලකීමට ඔබටත් මටත් හැක. ඔබ නොසිතුවාට, ඒ පුංචි පුංචි මානසික දිරිගැන්වීම් ඔවුන්ට මහ මෙරක් වනු ඇත.

-Rtr. Sewmini Bandaranayaka (Sahasra)-

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

1 Comment

  1. Uthpala Bandara Wijesooriya

    Great🖤💯

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Visit Our Socials:

Facebook
Instagram
LinkedIn
Twitter
Tiktok

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 881 7274

FOLLOW US
© 2025. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura