දළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වින්දිතයන්ගේ ගෞරවය පිළිබඳ සත්‍යයට ඇති අයිතිය සඳහා වූ ජාත්‍යන්තර දිනය

Mar 24, 2023 | News | 0 comments

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් වරක් සඳහන් කළ පරිදි, සත්‍ය යනු, සමාජය සවිබල ගැන්වීමේ සහ සුව කිරීමේ ප්‍රභවයක් වන අතර අතීතය, වර්ථමානය සහ සාර්ථක අනාගතයක් ඇති කිරීම උදෙසා මානව වර්ගයා විසින් සත්‍ය වැළඳගත යුතුයි. සත්‍යවාදීත්වය නැතහොත් අවංකභාවය යනු, ප්‍රඥාව නම් පොතෙහි මූලිකතම පරිච්ඡේදය බව තෙවන ඇමරිකානු ජනපති වූ තෝමස් ජෙෆර්සන් විසින් වරක් පවසා ඇත. මෙම ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වන්නේ, සත්‍ය යනු, ඵලදායී මානව පැවැත්මක් සඳහා ඉමහත් සේ වැදගත් වන දෙයක් බවයි. තවද සුරක්ෂිත සමාජයක් ඇති කිරීම උදෙසා තනි පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් විසින් සත්‍ය පැවසීම, සත්‍යයෙහි ගැවසීම මෙන්ම බලපෑම් සහගත සියලු දෑ සම්බන්ධව සත්‍ය දැනගැනීමද ඉතා වැදගත් වේ. සත්‍ය දැනගැනීමේ එම අවශ්‍යතාවය ගෝලීය වශයෙන් මානව අයිතියක් ලෙස පිළිගන්නේ එබැවිනි.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජීවත්වීම උදෙසා සුරක්ෂිත සමාජයක් ලෝවැසියන් වෙත නිර්මාණය කිරීමේ උපායමාර්ගයක් ලෙසින් මානව හිමිකම් හඳුන්වා දෙන ලදී. එය දැනට ලෝකයේ ක්‍රියාත්මක වන ඵලදායීම සමාජාරක්ෂණයක් වන අතර නූපන් දරු පරපුරෙහි සිට මියැදී අවසන් ජීවිත වල පවා යුක්තිය, නිදහස ආදී වූ අයිතීන් විමසා සිටින විචක්ෂණශීලී සමාජයක පදනම වූයේ මානව හිමිකම් ය. මෙම අයිතිවාසිකම් ඔස්සේ සංවේදී මානව චර්‍යාවන් ඉලක්ක කෙරෙන අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යනු, එය සිදු කළ පාර්ශවයට මෙන්ම ඊට යටත් වූ පාර්ශවයටද බලපෑම් ඇති කිරීමට සමත් පීඩාවකි. එබැවින් එම ක්‍රියාවන්හි සත්‍ය ස්වභාවය, ඒ සඳහා වන විභාගයන්හි සත්‍යතාවය සහ වින්දිතයන්ගේ ගෞරවණීයත්වය පිළිබඳ සත්‍ය ආදිය නිරවුල්ව දැක්වීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම එම සත්‍ය පිළිබඳ දැනුවත් වීම අදාළ පාර්ශ්වයන්ගේ මෙන්ම සමාජයේද අයිතියක් වන අතර එකී අයිතිය සංවාදයට විවර කරමින්, සෑම වසරකම මාර්තු 24 වන දිනදී එක්සත් ජාතීන් විසින්, දළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වින්දිතයන්ගේ ගෞරවය පිළිබඳ සත්‍යයට ඇති අයිතිය සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.

1980 වසරේ මාර්තු මස 24 වන දිනදී ඝාතනය වූ ඔස්කාර් රොමේරෝ නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සටන් කළ පූජකවරයා අනුස්මරණය කිරීමක් ලෙසින් සැමරෙන මෙම දිනය, 2010 වසරේ දෙසැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට ගොදුරු වූවන්ගේ ගෞරවය තහවුරු කිරීම, සත්‍යය හා යුක්තිය සඳහා ඔවුන්ට ඇති හිමිකම ප්‍රවර්ධනය කිරීම, සමාජය තුළ මානව අයිතීන් සුරැකෙන පසුබිමක් නිර්මාණය කර සැවොම ආරක්ෂා කිරීම සඳහා ජීවිත කැපකළ ශ්‍රේෂ්ඨ මිනිසුන් වෙත උපහාර පුද කිරීම සහ සියලුම ආකාරයේ ප්‍රචන්ඩත්වයන්ට විරුද්ධ වෙමින් මානව හිමිකම් මූලධර්ම ප්‍රවර්ධනය කිරීම ආදිය මෙම දිනයේදී පරමාර්ථ කොටගනී.

“දළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වින්දිතයන්ගේ ගෞරවය පිළිබඳ සත්‍යයට ඇති අයිතිය” සහ “මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ සත්‍යයට ඇති අයිතිය” එකිනෙකට සමගාමී අයිතීන් වන අතර මේවා රාජ්‍යයක් විසින් අත්‍යාවශ්‍යයෙන්ම තහවුරු කළ යුතු වේ. මානව හිමිකම් සහතික කිරීම, ඵලදායි විමර්ශන පැවැත්වීම සහ ඵලදායී පිළියම්/වන්දි ලබා දීම ආදී කටයුතු සිදු කිරීමේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය, එහි නිශ්චිත තත්වය සහ එයට සහභාගී වූ පාර්ශවයන්, උල්ලංඝනය කිරීම සිදු වූ අවස්ථාව මෙන්ම එයට හේතු වූ සාධක ආදිය පිළිබඳ සත්‍යය නියතයෙන්ම සම්ප්‍රේෂණය විය යුතුයි. තවද පාර්ශවයන්ගේ පෞද්ගලිකත්වය සහ සමාජ ගෞරවය සුරැකෙන සේ කටයුතු කිරීමද අවැසිය.

මෙම දිනය සඳහා නිශ්චිත සැමරුම් වර්ශ තේමාවන් ප්‍රකාශයට පත් නොකරන අතර මෙම සමරු දිනයෙහි හරය තුළින් මනුෂ්‍යත්වය සුරැකීම උදෙසා වන කතිකාවත් සඳහා ලෝක ප්‍රජාව වෙත පොදු තේමාවක් සපයනු ලබයි. මෙම දිනයේදී සත්‍ය සහ යුක්තිය අගයන පුද්ගලයෙක් ලෙසින් තමන්ට මෙන්ම අන්‍යන්ටද ජීවත්වීම සඳහා සුදුසු, මානව හිමිකම් සුරකින, ආරක්ෂිත සමාජයක් ගොඩනැඟීම උදෙසා දායක වීමට අපි අදිටන් කර ගනිමු.

Written by: Rtr. Keshani Weerasekara

Graphic design by: Rtr. Malithi Fernando

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

3 years ago

Walking down the memory lane of the Membership Development Committee for the year 2020/21

It is our pleasure to announce that we successfully completed Sneak Peek Into Rotaract and Splendour'21 ... See more

3 years ago

FOR THEM TO BLOSSOM 3.0!

3 years ago

Tourisco by the Environmental Service Avenue for the year 20/21

We are delighted to announce that we successfully concluded the project Tourisco while promoting sustainable ecotourism through ... See more

« 2 of 4 »

Contact Us:

Email: [email protected]

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura