COVID-19 චීනයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වී ශ්‍රී ලංකාව තුලට ද පිවිසියේ අප නොසිතූ මොහොතක ය. ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වහාම නිරෝධායන කාල සීමාවක් ප්‍රකාශයට පත් විය. මේ කාලය තුල මහජනතාවගෙන් වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වූවත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල නියතු වූවන් මහගු සේවාවක් සිදු කළහ. දැනටත් සිදුකරමින් සිටී. ඔවුන්ව මේ අවස්ථාවේ කෘතවේදීව සිහි කිරීම යුතුකමකි.
COVID-19 නිසා නිරෝධායනය වූ අපිට සැරට තේරුම් ගිය, තවමත් තේරුම් යන පාඩමක් පවතී යැයි මට සිතේ. ඇදිරිනීතිය පනවන බව මාධ්‍ය මගින් වාර්තා වීමත් සමග නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට සමහරු යානවාහනාදියෙන් සුපිරි වෙළෙඳසල් වෙතද සමහරු හාල් බෑග් රැගෙන වීදි දෙපස පිහිටි සිල්ලර වෙළඳසැල් වෙතත් දිව යනු දක්නට ලැබුණි.
අද වන විට නිරෝධායනය පනවා මාස 2ක් ඉක්මවා ගොසිනි.
කෙසේ වෙතත් වෙනදාට මිනිස් පුළුටක් වත් දැකගත නොහැකි වූ වීදිය දෙපස පිහිටි සුවිශාල නිවාසවල AC කාමරවල මෙතෙක් හුදකලාව සිරවී සිටි අය මිදුලට විත් හිරු එළිය හොදින් වැටෙන ස්ථානයක පුටු තබා හිද ගෙන පවුලේ අය සමඟ කතා කරමින් සිටිනු දක්නට ලැබේ.
මෙතෙක් කල් සුපිරි වෙළෙඳසල් වලින් පලා ගෙන ආ අය ගොඩනැගිලි රහිත හිස් ඉඩමක නොසලකා හැරීම නිසා සරුවට වැවී ගිය පලා නෙලා ගන්නේ “මේව ගුණයි, බෙහෙත් ගහලත් නෑනෙ” කියමිනි. කලින් කෝක් වර්ග බීම නිසා
කොත්මල්ලි, වෙනිවැල් ගැට, පෙරුම්කායම් දැක්ක පමණින් ඇඹුල් වන මුහුණු ඇත්තන් දැන් ඒවා උදේ සවස තම්බා බොන්නේ නාසය වසාගෙනය. මෙතෙක් නොසලකා හැර තිබූ පාරම්පරික බෙහෙත් වෙළඳසැල් ජනයාගෙන් පිරී ඉතිරී යයි. පෙරුම්කායම් මිලට ගැනීමට ඒවා ඉදිරිපිට දිගු පෝලිම්ය. රුපියල් 10-15 ක් වූ පෙරුම්කායම් මිල දැන් අහසට නැග ඇත.
මෙතෙක් කල් ෆ්‍රයිඩ් රයිස්, පීසා, බර්ගර් යැයි කියා ගන්නා වූ ආහාර ගත් පිරිස් දැන් බතක් උයා සම්බලයක් කොටා තුන් වේල බත් කති, මන්ද ඉදිරි දින කිහිපය සදහා බඩු බාහිරාදිය පිරිමසා ගත යුතු බැවිනි. ඉස්සර බිස්කට් පැකට්ටුවම කඩා ගිල දැමූවන් එකක් දෙකක් කා සෑහීමකට පත් වන්නේ එය ඉදිරි දින කිහිපය තුලදී ද තබා ගත යුතු බැවිනි. පර ස්ත්‍රින් පර පුරුෂයන් සොයා ගිය අය නිවෙස්වලට කොටු වී ඇත. මුළුතැන්ගෙයි හුදකලා වූ මවට විභාග, අධ්‍යාපනය, රැකියාව යැයි කියා වචනෙකින් පවා අස් වැසිල්ලක් නොවූ දරුවන් දැන් පොල් ගාති, හාල් සෝදති, ගෙවල් මිදුල් අතුගාති. මත්ද්‍රව්‍ය භාවිතය නිසා අවුල් වූ ජීවිත වලට වසන්තය උදාවෙනු දක්නට ලැබේ. කොළඹ ගොස් ගෙදර පැමිණ මුහුණ පිස දමන විට සුදු රෙදිකඩ කළු පැහැ වීම මා මුහුණ දුන් අප්‍රසන්නතම අත්දැකීමකි. කොළඹදී ආශ්වාස කරන විට විෂ දුම්, දූවිලි පිරුණු වාතය නාසයෙන් ඇතුළු වී පෙනහළු තුලට පිවිසෙනු හොදින් දැනී ඇත. කෙසේ වෙතත් එවන් කොළඹ නගරයේ වායු දූෂණය අඩු වී ඇති බව අසන්නට ලැබීම වාසනාවක් යැයි සිතේ. නිරෝධායන කාල සීමාව තුළ වඩාත් අසරණ වූයේ දවස් පඩියෙන් එදා වේල සරිකර ගත් පිරිස්ය.
කෙසේ වෙතත් Covid 19 සාර්ථකව ජයගත හැකි ඖෂධයක් මිනිසා විසින් නුදුරු අනාගතයේදී ම සොයා ගනු ඇත.එහෙත් ඇතැම් විට මෙවැනි ම වූ තත්වයන්ට මිනිසාට තවදුරටත් මුහුණ දීමට සිදු වනු ඇත. ඒ ස්වභාව ධර්මයට කළ හතුරුකම් හේතුවෙනි. මානවයා තරම් දුබල, අසරණ සත්ත්වයෙකු තවත් මෙලොව නැතැයි වරක මට සිතේ,
මිනිසා කුටුම්භ තුලට කොටු වූවත් අහස දෙස බැලූ විට වෙනදා මෙන් ම සියතුන් අහසේ පියාසර කරනු දක්නට ලැබේ. සතුන් සුපුරුදු ජීවන රටාවම පවත්වාගෙන යති.
ස්වභාව ධර්මයෙන් ඈත්ව ඉතා කෘත්‍රිම ජීවිත ගත කළ මිනිසාට මෙය තම ජීවිත සකසා ගැනීම සඳහා ලැබුණු පාඩමක් විය හැකිය.
– Rtr. Shermila Dewapurage –
0 Comments