සමානාත්මතාව අගයන පවුලක් තුළින් ශක්තිමත් දැරියක්!

Jan 24, 2022 | Public Relations | 0 comments

“ගෑනු ළමයෙක් නේද?”

ඔබ ගැහැනු ළමයෙකු නම් මේ වැකිය දිනපතා අසා ඇති. ගැහැනු ළමයෙකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ…

කුඩා කල සිටම…

“ගැහැනු ළමයෙක් නේද? ගෑනු ළමයි කාර් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ. මේ බෝනික්කාව ගන්න.”

“ගැහැනු ළමයි ගස් නගින්න, දුවන්න, පනින්න, හයියෙන් කතා කරන්න හොඳ නෑ.”

“ඒ පාර කරාටේ, බොක්සිං ගහන්න යන්න ඕනේ ලු! කොල්ලෙක් කියලද හිතාගෙන ඉන්නේ?”

“ගෑනු ළමයි වුණාම ගේ දොර වැඩපොළ දැනගත්තාම ඇති. මොකටද වාහන හදන්න, කම්පියුටර් හදන්න ඉගෙන ගන්නෙ!”

“යාළුවෝ එක්ක එකතු වෙලා ට්‍රිප් යන්න! ගෑනු ළමයෙක් නේද? බැදපු දවසක ඕන එකක් කරගන්න. “

“ලොකු වෙලා software engineer කෙනෙක් වෙන්න ඕන? විහිළු කරන්න එපා. පිරිමි ළමයි කරන වැඩ ඒ. ඔයා ටීච කෙනෙක් වෙන්න!”

“ගෑනු ළමයි ඔහොම කරන්නෙ නෑ… ගෑනු ළමයි වුණාම මෙහෙම ඉන්න ඕන… කොලු වැඩ කරන්න එපා…දවසක අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නේද?….”

වැනි වදන් අනන්තවත් අසා ඇති!

මෙවැනි පිහි ඇනුම් වන් වදන් නිසා සිහින බොඳ කරගත්, තමා කැමති විෂය ක්ෂේත්‍ර, තමාට ප්‍රිය විනෝදාංශ සහ රැකියා ක්ෂේත්‍ර තෝරාගැනීමට නොහැකි ව සිතින් තැවෙනා ගැහැනු ළමුන් අපමණයි. කාන්තාවන් ට, ආර්ථිකමය, දේශපාලන හා සමාජීය වශයෙන් සම තැන ඉල්ලන මෙවන් යුගයක ශක්තිමත් කාන්තාවන් සමාජයට දායාද කිරීමට නම් පවුල හා පාසල තුළින් කුඩා දැරියන් ශක්තිමත් කළ යුතුය.

දරුවෙකුගේ පෞරුෂත්ව වර්ධනයට වැඩි දායකත්වයක් ලැබෙනුයේ පවුල් පරිසරයෙනි. ආදර්ශවත් පවුලක් වශයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ හැඟීමක් පළමුවෙන්ම දිය යුත්තේ පවුල තුළිනි. දෙමව්පියන් දෙදෙනාම රැකියාවක නිරත වන පවුලක ගේ දොර සියලු වැඩකටයුතු මවට හා ගැහැනු දරුවන්ට නොපවරා සියලු දෙනා එකට එක්ව ඉවීම, අතුපතු ගෑම වැනි කාර්යයන් හි නිරත වීම තුළින් එය ජීවන කුසලතාවක් මිස එක් පිරිසකට අයිති කාර්යයක් නොවන බව දරුවා වටහාගනු ඇත.

හෝල්ඩරයකට බල්බයක් දැමීම, කාරයක රෝද මාරු කිරීම සහ කුඩා කුඩා පරිඵත සෑදීම වැනි දෑ කුඩා දියණියන් හා එක්ව කිරීම තුළින් කල්යත්ම තාක්ෂණය ඇයට මායාවක් නොව හුරු පුරුදු සඟයකු වනු ඇත.  තමන්ගේ ශරීරය තවත් අයකු සමඟ සංසන්දනය නොකිරීමට ඇයට හුරු කරන්න. ශරීරයේ පැහැය, හැඩය, උස, ලිංගික දිශානතිය, භාෂාව, ආගමික මතවාද සහ ජීවත් වන ප්‍රදේශය කුමක් වුවත් “ලෝකය තනි යායක්” බව කුඩා කළ සිට කියා දීමෙන් ඇය තමන්ගේ හා අනිකාගේ විවිධත්වයට ගරු කරනු ඇත. කුඩා කළ සිටම ආර්ථිකමය වශයෙන් ස්වාධීනත්වයක් ඇති කරගන්නා අයුරු, ස්වාධීනව ජීවත් වන අයුරු තේරුම් කළ විට කිසිදිනක ඈ තවත් තැනැත්තෙකු මත යැපීමට බලාපොරොත්තු නොවනු ඇත. තමන්ට හෝ අනුන්ට අසාධාරණයක් වූ විට කොන්දේසි විරහිතව එයට එරෙහි විය යුතු බව ඇයට පැහැදිලි කිරීමෙන් අනාගත මලාලා, තන්ඩර්බර්ඩ්ලා ලංකාවෙන් ද බිහිවනු ඇත.

දුෂ්කර ගම්මාන වල මෙන්ම ඇතැම් ජන කොටස් අතර සිදු වන ළමා විවාහ ගැහැනු ළමුන් ගේ අධ්‍යාපනයට ඇති අයිතිය උදුරා ගනියි. දරු ගැබක් දැරීමට කායිකව හෝ මානසිකව සූදානමක් නැති අසරණ මල් කැකුළු පිපීමට පෙරම මුකුලිත ව යාමට ළමා විවාහ බලපායි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එක් දිනක් තුළ පමණක් ළමා විවාහ 39,000ක් ලොව පුරා සිදුවේ.  ඇතැම් ප්‍රදේශයන්හි පවුලේ පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැනු දරුවන්ට අඩු ආහාර ප්‍රමාණයක් ලබා දීම පසුකාලීන පෝෂණ ඌණතා රැසකට හේතු වේ.

ඇයට ඇය වන්න ඉඩ දෙන්න. ඇය කුඩාකල සිට සෙල්ලම් කාර්, පරිගණක ක්‍රීඩා , රොබෝවරුන් ට ප්‍රිය කරන්නේ නම් එවනි අයෙකුට ඊට අත දීම විනා බෝනික්කන් නැලවීමට දීමෙන් පලක් නැත. කරාටේ, බොක්සිං, රෙස්ලින් වැනි ක්‍රීඩාවන්ට  රුචි අයෙකුට ඒ වෙනුවට නෙට් බෝල් ක්‍රීඩාවේ නිරත වන්න යැයි ඉල්ලීම “ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලීම” වැනි දෙයක් නොවේ ද? Auto mobile, Mechatronics වැනි විෂයන් වැඩි දුර හැදෑරීමට සිහින මවන්නියකට “ගැහැනු ළමුන් ට” සුදුසු යැයි ලේබල් ඇලවූ විෂයක් ඉගන ගන්න යැයි බල කිරීම කෙතරම් අසාධාරණ ද? ඇය ඉපදී ඇත්තේ සමාජයට හෝ දෙමව්පියන් ට රිසි කතාවක් ලිවීමට නොව තමාගේ ම කතාවක් ලිවීමට ය.

“ලිංගික සමානාත්මතාවය සාක්ෂාත් කරගැනීම සඳහා කාන්තාවන් හා පිරිමින්, ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් සම්බන්ධ කරගැනීම අත්‍යාවශ්‍ය වේ. එය සැමගේ වගකීමකි” යැයි එක්සත් ජාතීන්ගේ හිටපු ලේකම් බෑන් කී මූන් මහතා වරෙක පවසා ඇත. එම වගකීම ඉටු කිරීමට, එකට එක්ව සමානාත්මතාවය අගයන ලොවක් බිහිකිරීමට ජ’පුර රොටරැක්ට් අප විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. පවුල් සංස්ථාව තුළ දී, පාසලේදී හා සමාජයේදී ඇය වාචිකව, ශාරීරිකව හා මානසිකව විවිධ හිංසනයන්ට ලක් වන බව නොරහසකි. එයට පිළියම් වශයෙන් හඬක් නැති ඇයට හඬක් වීමට ජ’පුර රොටරැක්ට් සමාජය “Someone’s Daughter” හි සිව්වැනි අදියර දියත් කරමින් පවතී. සමානාත්මතාව අගයන සමාජයක් තැනීමට අප සමඟ එක් වන්න!

Written by Rtr. Sewmini Bandaranayaka

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Facebook feed

2 years ago

Walking down the memory lane of the Membership Development Committee for the year 2020/21

It is our pleasure to announce that we successfully completed Sneak Peek Into Rotaract and Splendour'21 ... See more

2 years ago

FOR THEM TO BLOSSOM 3.0!

2 years ago

Tourisco by the Environmental Service Avenue for the year 20/21

We are delighted to announce that we successfully concluded the project Tourisco while promoting sustainable ecotourism through ... See more

« 2 of 4 »

Contact Us:

Email: president@racusj.com

Call Us: (+94) 77 859 3141

FOLLOW US
© 2020. All Rights Reserved by Rotaract Club of University of Sri Jayewardenepura